Thursday, February 2, 2017

අවදානය.! මේ ඔවුන් ගැන.

              උපන් දා සිට දේමාපියන් වෙහෙස වන්නේ තම ලමයින්ට ඉගැන්වීමටය. එය ඔවුන්ගේ එකම සහ අවසාන පැතුමය. එම නිසාවෙන්ම දෙමාපියන් විසින් ලමයින්ට ඉගනීමට අවශ්‍ය සියළුම දේ මෙන්ම, ඔවුනට අවශ්‍ය පහසිකම් කෙසේ හෝ සැපයීමට සැදී පැහැදී සිටින්නේය.
                                           ලාංකික සමාජය තුළ තට්ටු පිට මාලිගා සැදූ, රොද හතරක වාහන වල හිමිකාරිත්වය ඇති ඉතාමත් ධනවත් ජීවිත ගත කරන සමාජ කොට්ඨාශ නැති තරම්ය. එහෙව් වූ සමාජයක බහුතරයක්, ඔවුන් තම ලමයින්ට උගන්වන්නේ කුළී වැඩ කරමින්ය, අනුන්ගේ වත්තක තේ දළු කඩමින්ය, රබර් කිරි කපමින්ය එකී  නොකි බොහෝ තෙවන පන්තියේ රැකියා වල නිරත වෙමින්ය. රජයේ සේවයේ නියුක්තව සිටියද ඔවුනට මාසය අවසානයේ ලැබෙන දෙයක් නැත. කෙසේ වෙතත් ඔවුන් රටට ලෝකයට ණය වෙමින් තම ලමයින්ට උගන්නන දගලන්නේය ඒ ඔවුන් සිටින තැනට වඩා පියවරක් හෝ තම ලමයින් තබන විශ්වාසය සිතේ තබා ගනිමින්ය.
                                    ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සා.පෙළ,උ.පෙළ හැදෑරීමෙන් අනතුරුව සැමගේම පැතුම උසස් අධ්‍යාපන ලබා ගැනීමය. එය එසෙ වුවත් උසස් අධ්‍යාපනය පිණිස රජයේ විශ්ව විද්‍යාලයකට යාමට සෑම කෙනෙකුටම අපහසුය, සමහරෙක් උ.පෙළ සමත් වුවත් ඔවුනට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නොහැකිය. එසේ වූ කල්හි, සල්ලි ඇත්තන්ගේ ලමයින් පෞද්ගලික උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට පෙළඹෙන අතර එය හේලා දැකීමට තරම් මා කුහක නොවෙමි, මක්නිසාද යත් මා හට මුදල් තිබුණා නම් මා ද ඔවුන් සේම අධ්‍යාපන ලබාගන්නා බැවිණි.
                                        කෙසේ වෙතත් ගණිත අංශයෙන්, වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ සමත්  වූවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල නොමැති වුවත් ඔවුනට යාමට එක් මාර්ගයක් සකස් කර ඇත. එය, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, උසස් ජාතික ගණකාධිකාරක ඩිප්ලෝමාව හා තවත් පාඨමාලා කීපයකින් සමන්විත වන්නකි.මේ ඒ ගැන කතන්දරයකි.
                      ඊයේ එනම් 2016.02.02 වන දින ශිෂ්‍ය උද්ගෝෂණායක් හා පා ගමනක් ගාල්ල, ලබුදූව උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිට කරාපිටිය දක්වා යෙදී තිබුණේය. එහි ඔවුන්ගේ සටන් පාඨ ලෙස තිබුණේ තම ආයතනයට නේවාසිකාගාර පහසුකම් දෙන ලෙසත්, මහපොළ වාරිකය 1250 වන වාරිකය 5000 තෙක් වැඩිකර දෙන ලෙසත්, එය කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසත්ය. මේ ඉල්ලීම් සැබවින්ම මේ වනවිට තම පහළොස්වන සංවස්සරය සමරමින් සිටින්නේය. ඒත් තවමත් ඒ ඉල්ලීම් ඉපදුන තැනමය. කෙටියෙන් කියූ කල තවම ඒ ඉල්ලීම් ඉෂ්ඨ කර නොමැත. ඒවා ඉෂ්ඨ කිරීමට රටක් වසන පාලකයින් හට තවමත් සිතී නොමැත. මා හට හැගෙන පරිදි නම් පාලකයින් අඳ ගොළු බිහිරි තත්වයේ සිටින බැවින් ඔවුන් හට මෙම ඉල්ලීම් ඇසේන්නේ වත් පෙනෙන්නේ වත් නැත.







                                       බොඩිමක නවාතැන් ගෙන සිටියත් බෝඩිම් කුළිය ලෙස 3000ක මුදලක් මසක් අවසානයේ ලබා දිය යුතුය. එහෙත් මහපොළ වාරිකය 1250කි. එයද ලැබෙන්නේ සිසුන්ගෙන් 100කට නොවැඩි පිරිසකටය අනෙක් අයට එය වත් නොමැතිය. රාජ්‍ය සේවයේ යෙදෙන්නන් ගේ ලමයින එය එය ලැබෙන්නේම නැත. ඔවුන්ට ලැබීමට සුදුසු කමක් වත් නොමැත. රාජ්‍ය සේවකයින් නොකා ලෙවකන බව මාද අත්දැකීමෙන් දන්නා කරුණුකි. ඔවුන්ට ඇති යමක් නොමැත ඇත්තේ නම පමණකි. කෙසේ වෙතත් 1250ක මුදලක් මසක් සඳහා තුන්වේලක් කෑම සඳහාද ප්‍රමාණවත් නොවේ. ඒ හෙයින් එහි සිටින සිසුන් හට දිනක මන්දපෝෂණය සෑදෙනවා නොඅනුමානය මක්නිසාද යත් ඔවුන් වේල් තුනම කෙසේ වෙතත් එක වේලක් වත් නොකන බැවිනි.
                                 ඔවුන් නේවාසිකාගාරයක් දැනැට අවුරුදු පහළොවක් තිස්සේ අයදින ඉල්ලීමකි. කෙසේ වෙතත් එම ඉල්ලීම ගැන පුටු රත් කරමින් සිටින පාලකින් හට ගානක් වත් නොමැත. ඔවුන් සිතනුයේ තම මඩිය තර කර ගැනීම ගැන පමණක් වීම දුකට කරුණකි. නේවාසිකාගාර ඉල්ලීම ඉටු කිරීම තුළින් ඔවුන් හට යටින් ගානක් ලැබෙනවානම් ඔවුන් අද ම නේවාසිකාගාරය සෑදීම අරඹණු ඇත.

                                                 ඊනියා විශ්වවිද්‍යාලයකට යාමට හැකියාව නොතිබුණත්, කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබාගැනීම පිණිස ලබුදූව උසස් අධ්‍යාපන ආයතනයට තම දරුවා එවූ දෙමාපියන්ද අසරණ වී ඇත ඒ මක් නිසාද යත් තම දරුවා හට මාසකට අවම වශයෙන් රුපියල් 5000ක මුදලක් වත් ලබා දිය යුතු බැවිණි. මා හට හැගෙන පරිදි ඔවුන් මුද්ල් එවනු ඇත්තේද නොකා නොබීය. එහි රජමාලිගා වල සිට පැමිණි එක් දරුවේක් හෝ නොමැත සෑවොම කුඩා රජයේ සේවකයෙකුගේ හෝ කුලී වැඩ කර දවස ගැටගසා ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.

                                          මිනිසෙකුට හදවතක්, මනසක් ලෑබී ඇත්තේ තව කෙනෙකුගේ දුක තේරුම් ගැනීමටය එහෙත් මෙහි සිටින පාලකයින් හට හදවත සහ මොළය ලැබී ඇත්තේ තම මඩිය තර කර ගැනීම පිණිස සැලසුම් සකස් කිරීමටය. ඔවින් සිසුන්ගේ වත්, දෙමවුපියන්ගේවත් දුක නොදන්නේය. එය සැබවින්ම දුකට කරුණකි. කෙසේ වෙතත් තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔවුන් අඛණ්ඩ අරගලයේ යෙදෙනු ඇත, පාගමන් යනු ඇත, තම ඉල්ලීම් ඉටු වන තෙක් පසු නොබසිනු ඇත. ඒ ඔවුන් හට හදවතක් සහ මොළයක් ඇති බැවිනි. ඔවුන් දුක කුමක්ද යන වග හොඳින් හඳුනන බැවිනි. එබැවින් දිනක ඒ අරගලමය ජය ගනු ඇත.