Monday, September 26, 2016

බයිසිකලේ...
















උඹේ හෙවණට බර වෙලා
ජීවිතේ උස මැදුරු තැනුවා
පස්සේ උඹ ලඟ නැවතිලා
හිතේ ඇති දුක් සතුටු කිව්වා...

පිපුණු කරගැට දියවෙලා
උඹේ ලඟ මා තනි වෙලා
ආ ගමන් මඟ මගේ තනියට
උඹත් දැන් අසරණ වෙලා...

උඹේ සෙනෙහස ලැබූ මාගේ
දරුවෝ ටික දැන් උස් වෙලා
උන් ඉන්නේ දැන් ඉහල තැන් වල
උඹේ කරපිට දුන් නිසා...

තාර පාරට වැටුනු අව්වට
උඹේ සෙනෙහස වැඩි වුණා
මගේ වෙහෙසට උඹේ කරපිට
දුන් නිසා මා රජ වුණා...

ලිවුම් පත් මිටි ගොඩළි ගහගෙන
පැය දවස් සති ගතවුණා
ඉහල තනතුරු පුටු ලැබෙද්දිත්
උඹ මගේ ලඟ හිනහුණා...

පාට කළු සුදු ජීවිතේ උස
උඹේ ලඟ හිඳ වැටහුණා
වෙහෙස ගත සිත මහළු වෙද්දිත්
මා උඹේ ලඟ නැවතුණා...