Thursday, January 28, 2016

එකම කුසක්... (ආදරයේ කතාව)
























අඳුරු කුටියේ සිරවීලා
අත පය දෙක වකුටු කරන්
තව කොච්චර කල් ඉන්නද
ඕන කියලා මට කියන්න..

උණුසුම් වායුවෙන් පිරුනු
ඝණ වටකුරු කුටීරයේ
තව කොච්චර කල් ඉන්නද
ඕන කියලා මට කියන්න..

අඳුරු මතක හිතේ පිරිලා
ඒවා මාව බය කරනවා
ඔබේ තුරුලේ සැඟවෙන්නට
කාලේ ලඟද මට කියන්න..

වෙඩි හඬවල් මට ඇහෙනවා
මගේ අප්පාව මතක් වෙනවා
ඔබේ හදවතේ කඳුලැලි
ඇදත් එදා වගේ ඇසෙනවා..

තල් අතු වහලය හැදුවද
තාම ඉන්නේ කෝවිලේද
ඔබත් සමඟ මා ඉන්නා
බව ස්වාමිත් දන්නවාද..

ඔබ උදේට බත් කෑවද
බඩගින්නක් මට නම් නෑ
තාම කාලා නැත්නම් ඔබ
දැන් උදේට කාලා ඉන්න..

ඉදහිට සිංහල ඇහෙනවා
පිරිත් බණ පදත් ඇහෙනවා
ඔබේ තනියට දැන් සිංහල
යාළුවෝ ඉන්නවා නේද..

පන්සලේ ඝණ්ඨාර හඬින්
ඉඳහිට මගේ සිත පිරෙනවා
කෝවිල් යන අතරමඟින්
ඔබ දැන් පන්සල් යනවද..

යුද්දේ තාම තියෙනවනම්
සැඟවීලා තව ඉන්නම්
යුද්දේ ඉවර වුනු විගසම
මම ඉක්මනටම එන්නම්..

මම එළියට එන දිනයට
සාමයේ මල් පිපී තියෙයි
ජාති භේද තුරන් වෙලා
මිනිසුන් ආදරෙන් ඉදී..

මගේ අම්මත් පරෙස්සමින්
මා එනතුරු ටිකක් ඉන්න
හිතේ දුකක් හෙම තිබුණොත්
කණට කරලා මට කියන්න..