Thursday, February 26, 2015

නිරවද්‍ය ඊනියා වැරදිකරුවා...

දිරා ගිය
දංගෙඩියක
සිර වූ නිදහසේ දෝංකාරය,
ආත්මීය නිරවද්‍ය බව
හදවතින් දරාගනිමින්
ඉබා ගතේ සැරි සැරු
කෙහෙඩෑරී වූ මනොකාය,
සිත පතුලට කිමිදෙමින්
තමන්ගේ පාපොච්චාරණය
තමාටම පවසමින්,
දිනෙන් දින ගිලන්වන්නට
තම සත්‍යවාදි බව
තමන්ටම වෙර දුන්නේය...දිරි දුන්නේය...අත දුන්නේය...
නිර්වචනයක අග දැවටුනු
ශක්තිවන්ත බව
එඩිතර බව
වීර්යවන්ත බව
තමන්ට හා තමන් සමඟ සිටියා වුන්ට
පමණක්ම පසක් වූවේය...
අඬහැරයක අඬෝනාව
තම නිර්වද්‍ය බවට පමණක්ම විනා
සමාජය පතුලේ කිමිදෙන
අවිචාරයට නොඇසෙනුයේ
තම හෘර්දයට
තම ඔලුගෙඩිය නොනැමෙනා හෙයිනි....


















ඒ ඔලුගෙඩිය
තම හෘර්දයට නැමෙනා කල
නිර්වද්‍ය වූවෝ
සමාජය විසින් හන්වඩු ගැසු
ජම්පරයකට කොටු නොවන්නේය...
ඊනියා වැරදි කරුවා දෙස
විනිවිදව බැලුවෝ
ඔහු සැබවින්ම වැරදි කරුවෙකු සේ
නොදකින්නේය...
සැබවින්ම ඔහු නිවරදිය,
සැබවින්ම ඔහු සත්‍යගරුකය,
සැබවින්ම ඔහුගේ කොඳු නාරටිය හරි කෙලින්ය...
වැරදි කරුවන්ට නොනැමෙනා
ඊනියා වැරදි කරුවෝ දෙස 
හදවතින් බලනා කල
නැවත නැවතත් ඊනියා වැරදි කරුවෙකු
සමාජයෙන් බිහි නොවන්නේය..
නැවතත් බිහි වනුයේ 
සැබවින්ම වරදක්ම පම්ණක් කල
වැරදි කරුවෙකුම පමණකි...