Tuesday, October 14, 2014

ජීවන සුවඳින් පාර අසන්නෝ...

                    සුදුසැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. අමරිකාවේ ජීවත් වූ අන්ධ පුද්ගලයන්ට මහමග යාමේදී නොවැටී යාම සඳහා එරට රජය විසින් ආධාරකයක් අවශ්‍ය බව තීරණය කළේ ය. ඒ අනුව එරට සිංහ සමාජය මඟින් අන්ධ පුද්ගලයන් සඳහා සුදුපාට ආලේපිත සැරයටියක් ලබා දුනි. මෙම සැරයටිය රැගෙන මහ මග ගමන් කරන ජනතාව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඔවුන්ට ඉන් පෙර වූ කරදර හිරිහැරද ක්‍රමයෙන් අඩු වන බවක් පෙනුණි. මේ හේතුවෙන් නොබෝ දිනක් ගතවන්නට පෙර අමරිකාව පුරාම සිටින අන්ධ ජනතාවගෙන් මෙම සුදු සැරයටියට හොඳ ඉල්ලුමක් ඇති විය.
             ඒ අයුරින් මෙය අන්ධ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව පමණක් නොව ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන් ම ස්වාධීනත්වයටද පිටිවහලක් වන බව වටහා ගත් එවකට එහි සිටි අන්ධ පුද්ගලයන්ගේ සංගමය මෙය සුහද සංකේතයක් ලෙස භාවිතා කරන ලදී.වර්ෂ 1942 දී අමරිකාවේ සිංහ සමාජ හා එක් වූ අන්ධ පුද්ගල සංගමය ප්‍රථම වරට “ සුදු සැරයටි දිනයක්” පැවැත් විය. අනතුරුව මෙයට යුරෝපයද එක් විය. 1950 වන විට යුරෝපයේ සිටි අන්ධ පිරිසෙන් 95% පමණ සුදු සැරයටියක් භාවිතා කිරීමට පෙළඹුණහ. ඔවුහු තමන්ට වෙන් වූ වෙනම දින යොදා “ සුදු සැරයටි දිනයක් පැවැත් වූහ. “මෙහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයේම අවධානය මොවුන් වෙතට යොමු වීය. එහි බලපෑමක් ලෙස 1969 දී ප්‍රථම ජාත්‍යාන්තර අන්ධ සමුළුව පැවැත්විණි.ඒ ශ්‍රී ලංකාවේ ගෝල්පේස් හෝටලේ දී ය. වර්ෂ 1969 ඔක්තෝම්බර් 01 දා සිට 04 වැනිදා දක්වා පැවැත් වූ මෙම සමුළුවට රටවල් 618 ක් නියෝජනය කරමින් අන්ධ පුද්ගල සංවිධානවල නියෝජිතයෝ 618 ක් සහභාගි වූහ.මෙම සම්මේලනයේදී අන්ධ ජනතාව වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග රැසක් තීරණය වූ අතර සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වන දා “ සුදු සැරයටි දිනය ලෙස නම් කිරීමද සිදු විය. එසේ ම ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ද බිහි විය. එහෙත් සුදු සැරයටි දිනය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්විය යුතු යැයි ප්‍රථම වරට ප්‍රකාශයට  පත් වූයේ 1964 දී ය. ඒ අමරිකාවේ 36 වන ජනාධිපති වූ ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ නියමයෙනි.

උපුටා ගැනීම :   දැනුම danuma.lk






සුදු සැරයටියක්  අතට ගත්තේ
කකුල් දෙකට වාරුවක් දෙන්න..
ඒ ලබා දෙන වාරුව තුලින්
ජීවිතයට නව අරුතක් ලබා දෙන්න...
අරුත ලබා දෙන්න සිතුවේ
තම ආදරණීයන්ගේ සතුට වෙනුවෙන්,
ඔවුන්ගේ සැපත වෙනුවෙන්,
තමනට ලැබුණු සරදම
ඔවුනට, ඔවුන්ගේ අනාගතයට බාදාවක් කල නොහැකි බැවින්....
වරක සිතින් දුක්වන්නට ඇති,
වරක කඳුළු කැට දෙතොල සිපගන්නට ඇති,
එවිට ලුණු රසක් දැනෙන්නට ඇති,
ඒ ලද ලුණු රසෙන් අනෙකෙකු නොලද්
සැනසීමක් ලබන්නට ඇති...
සැබවින්ම ඔවුන් වාසනාවන්ත වන්න ඇති
සාමාජීය අධම ක්‍රියාවන් ඔවුනට නොපෙනෙන බැවින්..
අපට සාපේක්ෂ රාමුවක සිට බැලූ කල
එය අපට සැනසීමක් වුවත්
ඔවුනට සාපේක්ෂව එහි කටුක අත්දැකීමක් අන්තර්ගත මෙන්ම
සැගවුණු දුකක්, චිත්ත සන්තාපයක් තිබෙන්නට ඇති...
ජීවන මඟ එසේ යන විට
සාමාජයේ ඔවුන් සේම,
ඔවුනට සාපේක්ෂව වෙනස් වූ අත්දැකීම් ලබන
අහිංසක මිනිසුන් හමුවන්නට ඇති,
වෙහෙස වූ ගතෙහි දැවටෙන
දාඩියෙහි පුසුඹ
ඔවුනට සාපේක්ෂව
මානුෂීය බවේ සංකේතවත් ඡායාව,
ඔවුන්ට දැනෙන්නට ඇති..
ඒ සුවඳින් තම සිතින් විමසන්න ඇති,
තමා සේම ඔවුන්ද,
විවිධාකාර වූ සිත් තැවීම් වලින් බැට කන බව..
ඒ විමසීමෙන් සිත සැනසෙන්න ඇති,
තමා සේම ඔවුන්ද පීඩිත වූවන් බැවින්
එහෙත් ඔවුන් නොදකින යම් දෙයක්
සමාජයේ වැලලෙන්නට ඇති,
එය රෝද සතරක් උඩට පමණක් සීමා වූ
සිතල කාමරයක දිවි ගෙවන
තවත් ජීවයක් සිටින බව...
එවන් පිරිසක් එසේ සැගවී ගියේ
ඔවුනට දාඩිය නොදමන බැවිනි..
ඒ අයුරින්,
සුදු සැරයටියක පහස ලබමින්
දාඩිය සුවදින් පාර අසමින්
මානුෂීය සිත් තේරුම් ගත්
අප අතරේ ජීවත් වන ඒ සුන්දර මිනිසුන්
මේ අයුරින් සිහි කලේ
අද ඔක්තෝම්බර් 15
සුදු සැරයටි දිනය නිසා නොවුනත්
අපේ හදවත් ඔවුනගේ මනසින්
වටහා ගනිමින්
අපිත් සමඟ රැදුණු,
ඔවුනට දක්වන උපහාරයක් බැවිනි...

"ඇස් පෙනුනත් සුදු සැරයටියක් අතින් ගත්තා සේ අහිංසක මිනිසුන්ගේ හැගීම් තේරුම් ගන්නා මිනිසුන් සිටින යුගයක, ජීවන සුවඳින් පාර සොයමින් සැබවින්ම සුදු සැරයටියක් අතින් ගත්තෝ ශේෂ්ට වන්නෝය."